මිලගණන් අඩු චීන නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමග, පසුගිය වසරට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ අලෙවිය 134% කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

CarExpert හි ජ්‍යෙෂ්ඨ පරීක්ෂක Anthony Crawford පෙන්වා දෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් මිලදී ගැනීමට මුලින් වැඩි පිරිවැයක් වැය වුවද, ධාවන සහ නඩත්තු වියදම් ඉතා අඩු බැවින් දිගුකාලීනව එය විශාල වාසියක් වන බවයි. පෙට්‍රල් රථයකට වසරකට ඩොලර් 1740 ක් පමණ වැයවන විට EV රථයක් චාර්ජ් කිරීමට වැයවන්නේ ඩොලර් 720 ක් වැනි මුදලක්. එමෙන්ම පෙට්‍රල් එන්ජින් නොමැති නිසා වාර්ෂික නඩත්තු වියදමද අඩකටත් වඩා අඩු බවයි වාර්තා වන්නේ.

මීට අමතරව EV බැටරිවල කල්පැවැත්ම පිළිබඳ පැවති බියද මේ වන විට පහව යමින් පවතිනවා. චාජින් පහසුකම් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින අතර, දුර ධාවනය ගැන බියෙන් පසුවන පිරිස් වෙනුවෙන් කිලෝමීටර් 1000 කට වඩා ධාවනය කළ හැකි "super hybrid" රථද වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා.

2025 මුල් මාස 7 තුළ අලෙවි වූ EV රථ 54,000 ක සංඛ්‍යාව 2026 වන විට 127,000 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉදිරි වසර දෙක තුළ තවත් චීන වෙළඳ නාම 12 ක් පමණ ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි.