ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන University of Queensland (UQ) හි සේවක සේවිකාවන් 16,000 කට අධික සංඛ්‍යාවකට වසර 9 කට ආසන්න කාලයක් තිස්සේ ඩොලර් මිලියන 11 කට ආසන්න හිඟ වේතන නොගෙවා ඇති බවට හෙළිව තිබෙනවා.
2017 සිට 2026 දක්වා කාලය තුළ සිදුවූ මෙම වැටුප් ගණනය කිරීමේ දෝෂය නිසා Brisbane සහ Gatton ඇතුළු විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි අධ්‍යයන සහ පරිපාලන කාර්ය මණ්ඩලයේ 16,382 දෙනෙකු අසාධාරණයට ලක්ව ඇති බවයි Fair Work Ombudsman (FWO) ආයතනය සඳහන් කරන්නේ. මේ අතරින් එක් නිලධාරියෙකුට පමණක් පොලියත් සමඟ ඩොලර් 41,000 කට අධික හිඟ මුදලක් ගෙවීමට තිබූ බවද වාර්තා වෙනවා.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු මෙම වැරැද්ද හඳුනාගෙන ඇති අතර, දැනටමත් අදාළ සේවකයින් 13,500 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 9.6 කට ආසන්න මුදලක් ගෙවා නිමකර තිබෙනවා. සිදු වූ වැරැද්ද සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ University of Queensland පාලනාධිකාරිය, ඉතිරි පිරිසගේ හිඟ මුදල්ද ඉදිරි සති කිහිපය තුළ ගෙවා නිමකිරීමට කටයුතු කරන බවත්, මෙවැනි වැරදි නැවත සිදුනොවීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් කියා සිටියා.



