වසර 20 කට වැඩි කාලයකට පසු, සුවකළ නොහැකි දුර්ලභ මොළයේ පිළිකා තත්ත්වයක් සඳහා සොයාගත් ප්‍රථම සාර්ථක ඖෂධය වන Voranigo මෙම සතියේ සිට ඕස්ට්‍රේලියාවේ ඖෂධ සහනාධාර ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.
IDH-mutant astrocytoma හෝ oligodendroglioma ලෙස හඳුන්වන මෙම පිළිකා තත්ත්වය වයස අවුරුදු 20 ත් 45 ත් අතර පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබෙනවා. මසකට ඩොලර් 28,000 කට ආසන්න මුදලක් වැය වන මෙම ඖෂධය PBS ලැයිස්තුවට ඇතුළත් වීමත් සමඟ, රෝගීන්ට එය සාමාන්‍ය ගාස්තුවක් වන ඩොලර් 25 කට හෝ සහන කාඩ්පත් හිමියන්ට ඩොලර් 7.70 ක වැනි අඩු මුදලකට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය Mark Butler සඳහන් කළේ, මෙමගින් වසරකට ඕස්ට්‍රේලියානු රෝගීන් 135 දෙනෙකුට පමණ ජීවත් වීමට වටිනා අමතර කාලයක් ලැබෙන බවයි. මෙම ඖෂධය මගින් පිළිකා සෛල වර්ධනය වන එන්සයිම අඩපණ කරමින් එහි පැතිරීම පාලනය කරනු ලබනවා.
Peter MacCallum පිළිකා මධ්‍යස්ථානයේ සහකාර මහාචාර්ය Jim Whittle සහ Australian Brain Tumour Collaborative හි උපදේශක Craig Cardinal පෙන්වා දෙන්නේ, මෙය මොළයේ පිළිකා මර්දන ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක් මෙන්ම රෝගීන්ට සිය ජීවන තත්ත්වය උසස් කරගැනීමට ලැබුණු තීරණාත්මක අවස්ථාවක් බවයි.



