2025-26 මුල්‍ය වර්ෂයට අදාළව ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැය හිඟය, මැයි මාසයේදී තක්සේරු කළ ඩොලර් බිලියන 28.3 සිට ඩොලර් බිලියන 6කින් පමණ අඩුවී ඇති බව මෙරට මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කෙසේ වෙතත්, උද්ධමනය පාලනය කිරීම සහ රජයේ වියදම් අඩුකිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවලට පිළිතුරු දෙමින් භාණ්ඩාගාරික Jim Chalmers සඳහන් කරන්නේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ගෝලීය ආර්ථික බලපෑම් හමුවේ ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් හෙට දිනයේදී පොලී අනුපාත පදනම් අංක 25කින් එනම් 4.60%ක් දක්වා ඉහළ දැමීමට නියමිත අතර, එය වසර 15කට පසු වාර්තා වන ඉහළම අගයයි. AMP හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පවසන්නේ රජයේ අධික වියදම් සහ ඉහළ උද්ධමනය හමුවේ මෙලෙස පොලී අනුපාත ඉහළ දැමීම වැළැක්විය නොහැකි බවයි.
e61 Institute ආයතනය සිදුකළ පර්යේෂණයකට අනුව පෙන්වා දෙන්නේ, 2008 වසරෙන් පසු එල්ලවූ ආර්ථික කම්පන හමුවේ රජයේ ණය ප්‍රමාණය අඛණ්ඩව ඉහළ ගොස් ඇති බැවින්, ඉදිරි ආර්ථික අර්බුදවලට මුහුණදීමට රජයට පවතින හැකියාව අඩුවී ඇති බවයි.



