2026 Australia Census ජනගහන සංගණනයට ලිංගික අනන්‍යතාව, ලිංගික ආකර්ෂණය සහ පරම්පරාගත සංස්කෘතික පසුබිම පිළිබඳ නව ප්‍රශ්න ඇතුළත් කිරීමට Australian Bureau of Statistics ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, උපතේදී ලියාපදිංචි කළ ලිංගයට අමතරව වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට තමන්ගේ ස්ත්‍රී, පුරුෂ, ද්විත්ව නොවන හෝ වෙනත් ලිංගික අනන්‍යතාවක් සඳහන් කිරීමට අවස්ථාව හිමිවනවා.

LGBTIQ+ Health Australia හි ප්‍රධන විධායක නිලධාරිනී Nicky Bath සහ Equality Australia හි ප්‍රධාන විධායක නිලධාරිනී Anna Brown පවසන්නේ, මෙලෙස නිවැරදි දත්ත රැස් කිරීමෙන් LGBTQI+ ප්‍රජාව සඳහා අවශ්‍ය සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපන සහ ප්‍රජා සේවාවන් වඩාත් නිවැරදිව සැලසුම් කිරීමට රජයට හැකි වන බවයි.

මීට අමතරව, රටේ සංස්කෘතික විවිධත්වය වඩාත් නිවැරදිව සටහන් කිරීම සඳහා පරම්පරාගත සංස්කෘතික පසුබිම ප්‍රශ්නයට ලබාදිය හැකි පිළිතුරු සංඛ්‍යාව 4 දක්වා වැඩි කර තිබෙනවා. Aboriginal සහ Torres Strait Islander ආදිවාසී ප්‍රජාවගේ භාෂා සහ සංස්කෘතික අනන්‍යතාව සටහන් කිරීමටද වැඩි ඉඩක් ලබාදී තිබෙනවා.

එමෙන්ම, රැකියාව සඳහා ගමන් කරන ආකාරය දක්වන ප්‍රශ්නයට e-bike ඇතුළත්ව bicycle විකල්පයද අලුතින් එක් කර තිබෙනවා. මෙම Census දත්ත 2027 June මස සිට අදියර 3ක් යටතේ නිකුත් කිරීමට නියමිතයි.