2026 Census හෙවත් ජනසංඛ්‍යා ලේඛන දත්තවල පළමු අදියරේ ප්‍රතිඵල ලබන වසරේ ජූනි මාසයේදී නිකුත් කිරීමට නියමිත බව Australian Bureau of Statistics ආයතනය පවසනවා. සමස්ත දත්ත පූර්ණ ලෙස නිකුත් කර අවසන් කිරීමට 2028 වසර දක්වා කාලය ගතවනු ඇති.

ABS හි සාමාන්‍යාධිකාරී වන Jenny Telford සඳහන් කළේ, ඕස්ට්‍රේලියාව පුරා විසිරී ඇති දුරස්ථ ප්‍රදේශවලින් දත්ත රැස්කර නිවැරදිව විශ්ලේෂණය කිරීමට මාස 10 ක පමණ කාලයක් ගතවන බවයි. මේ වන විට ජනතාවගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් Census පෝරම මිලියන 8 කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මෙම දත්ත නිදහස් කිරීම අදියර තුනකින් සිදු කෙරෙන අතර, එහි පළමු අදියර යටතේ ජූනි 2027 හිදී වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, අධ්‍යාපනය, ආදායම, සෞඛ්‍ය තත්ත්වය සහ මෙවර අලුතින් ඇතුළත් කළ Gender Identity හා Sexual Orientation පිළිබඳ තොරතුරු නිකුත් කෙරෙනවා. අනතුරුව ඔක්තෝබර් 2027 හිදී ක්‍රියාත්මක වන දෙවන අදියරෙන් රක්ෂා, කර්මාන්ත ක්ෂේත්‍ර සහ සේවයට වාර්තා කරන ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළත් කෙරෙන අතර, 2028 මුල් භාගයේදී නිකුත් වන තෙවන අදියර යටතේ නිවාස නොමැති පුද්ගලයින් පිළිබඳ තක්සේරු සහ Socio-Economic Indexes දත්ත නිකුත් කිරීමට නියමිතයි.

මෙම Census දත්ත, ඕස්ට්‍රේලියාවේ රෝහල්, පාසල්, ප්‍රවාහන සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා රජය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදිරියේදී බහුලව භාවිත කරනු ඇති.