2026 ඕස්ට්‍රේලියාවේ Census පත්‍රිකාව සම්පූර්ණ නොකරන හෝ ලබාදෙන තොරතුරු අසත්‍ය බවට තහවුරු වන පුද්ගලයින්ට ඩොලර් 3,640 කට ආසන්න දඩයක් නියම විය හැකි බවට ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා.

ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මගින් වසර 5 කට වරක් පවත්වනු ලබන මෙම සංගණනය, එළඹෙන අගෝස්තු 11 වනදා පැවැත්වීමට නියමිත අතර, එදිනට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින පුරවැසියන්, සංචාරකයින් සහ තාවකාලික වීසා බලපත්‍රලාභීන් ඇතුළු සියලු දෙනා මෙය සම්පූර්ණ කිරීම අනිවාර්ය කර තිබෙනවා. මෙය අන්තර්ජාලය ඔස්සේ හෝ මුද්‍රිත පත්‍රිකා මගින් සම්පූර්ණ කිරීමට පහසුකම් සලසා ඇති අතර, තොරතුරු ලබානොදෙන පුද්ගලයින්ට නොදෙන සෑම දිනකටම ඩොලර් 364 බැගින් දඩ මුදල් අය කිරීමට පියවර ගන්නා බවයි දැනුම් දෙන්නේ.

ලිපිනය, අධ්‍යාපනය, ආදායම, රැකියාව සහ සංස්කෘතික පසුබිම ඇතුළු ප්‍රශ්න 66 කින් සමන්විත මෙවර පත්‍රිකාවට උපතේදී සටහන් වූ ලිංගිකත්වය, සමාජීය ලිංගිකත්වය සහ ලිංගික නැඹුරුව පිළිබඳවද ප්‍රශ්න අලුතින් ඇතුළත් කර තිබෙනවා. ඒ සඳහා 'පිළිතුරු දීමට කැමති නැත' යන විකල්පයද සලසා දී තිබීම විශේෂත්වයක්.