2032 Brisbane ඔලිම්පික් සහ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් Brisbane හි පිහිටි RNA Showgrounds පරිශ්‍රය නවීකරණය කිරීම සඳහා Queensland ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 287.5ක මුදලක් වෙන්කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ 20,000ක ධාරිතාවකින් යුතු එළිමහන් ක්‍රීඩාංගණය, Machinery Hill ප්‍රේක්ෂකාගාරය සහ තවත් ගොඩනැගිලි කිහිපයක් නවීකරණය කිරීමට නියමිතයි.

Bowen Hills හි පිහිටි මෙම පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මෙවර 150 වන Ekka ප්‍රසාංගික උළෙලෙන් පසුව ආරම්භ වන අතර, 2032 දක්වා අදාළ උත්සව කටයුතුවලට බාධාවකින් තොරව ඉදිකිරීම් පවත්වාගෙන යාමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මෙහි ඉදිවන නිවාස 2,000කින් යුතු ක්‍රීඩක නවාතැන් සංකීර්ණය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,000කට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් සැලසෙන අතර, තරගාවලියෙන් පසුව ඒවා මහජනතාව සඳහා නිවාස ලෙස ලබාදීමට නියමිතයි.

Queensland නියෝජ්‍ය අගමැති Jarrod Bleijie සඳහන් කළේ, අදාළ ව්‍යාපෘතිය නියමිත අයවැය සීමාවන් තුළ සිට Hutchinson Builders සමාගම හරහා සාර්ථකව නිම කිරීමට කටයුතු යොදා ඇති බවයි.