ඕස්ට්‍රේලියාවේ නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් හිඟය 2035 වන විට මිලියනයකට ආසන්න අගයක් දක්වා ඉහළ යා හැකි බවට Master Builders Australia ආයතනය අනතුරු අඟවනවා.
එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, වසරකට අවශ්‍ය වන ශ්‍රමිකයින් 85,000 කට අධික හිඟය පියවා ගැනීමට පියවර නොගතහොත්, ඉදිරි දශකය තුළ එම හිඟය 935,000 ක් දක්වා බැරෑරුම් වනු ඇති. මෙම ගැටලුව විසඳීම සඳහා දේශීය පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම විදේශීය පුහුණු ශ්‍රමිකයින් ගෙන්වා ගැනීමේ විසා ක්‍රමවේදයන් තවදුරටත් ලිහිල් කළ යුතු බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, කුසලතා සහ පුහුණු අමාත්‍ය Andrew Giles සඳහන් කරන්නේ TAFE නොමිලේ ලබාදීමේ පාඨමාලා සහ ආධුනිකයින් සඳහා දීමනා ලබාදෙමින් මෙම ශ්‍රමික හිඟයට විසඳුම් සපයමින් සිටින බවයි. එමෙන්ම පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ලබාදෙන නිපුණතා වීසා ප්‍රමාණය තෙගුණයකින් ඉහළ දමා ඇති බවද රජය සඳහන් කරනවා.



