Brisbane ගඟට උතුරින් පිහිටි අවසන් හිස් භූමි භාගයේ නිවාස 2,200කින් යුත් දැවැන්ත නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට Queensland ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

Northshore Hamilton ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 6.1ක මෙම භූමිය සංවර්ධකයින් 5 දෙනෙකු වෙත පවරා ඇති අතර, මෙහි පළමු පදිංචිකරුවන් 2031 වසරේදී පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා වෙන්වූ නිවාස කිසිවක් ඉදිකරන්නේ නැති බවයි නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය Jarrod Bleijie තහවුරු කළේ.

අඩු ආදායම්ලාභී නිවාස අනිවාර්ය කිරීම මගින් සංවර්ධන ව්‍යාපෘති ඇනහිටින බවත්, සෑම මට්ටමකම නිවාස ඉදිවීම හරහා පවතින නිවාස අර්බුදයට විසඳුම් ලැබෙන බවත් ඔහු සඳහන් කළා. 2032 Olympic උළෙලේ ක්‍රීඩකයින්ගේ ගම්මානය ලෙස භාවිත කිරීමට මීට පෙර සැලසුම් කර තිබූ මෙම භූමියෙහි හෝටලයක්, සුපිරි වෙළඳසැලක් සහ වෙළඳසැල් සංකීර්ණයක් ද ඉදිකිරීමට නියමිතයි.

මේ අතර Queensland හි සාමාන්‍ය ආදායම් ලබන පවුලකට දැරිය හැක්කේ වෙළඳපොළේ ඇති නිවාසවලින් 9%ක් වැනි කුඩා ප්‍රමාණයක් බව වාර්තා වන අතර, සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස ධනපතීන් සඳහා පමණක් සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමට රජය කටයුතු කරන බවට විපක්ෂ නායක Steven Miles චෝදනා කරනවා.