ඕස්ට්‍රේලියාවේ විශ්‍රාම අරමුදල් කළමනාකරණයට අදාළව පැවැති සමූහ නඩුවක් අවසන් කරමින්, පාරිභෝගිකයින් දහස් ගණනක් අතර ඩොලර් මිලියන 249ක වන්දි මුදලක් බෙදා හැරීමට එකඟතාව පළවී තිබෙනවා.
Colonial First State Investments Limited (CFSIL) සහ Avanteos Investments Limited (AIL) යන ආයතන, තම සාමාජිකයින්ගේ විශ්‍රාමික අරමුදල් ඉහළ පොලී අනුපාත ලැබෙන ස්ථානවල ආයෝජනය නොකර, තම මව් බැංකුව වන Commbank හි අඩු පොලී අනුපාත යටතේ ආයෝජනය කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. 2008 සිට 2021 දක්වා කාලය තුළ සිදුවූ මෙම අක්රමිකතාව හේතුවෙන් සාමාජිකයින්ගේ විශ්‍රාමික ඉතුරුම්වලට ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදු වූ බව Slater and Gordon නීතිඥ සමාගම පෙන්වා දෙනවා.
අදාළ නීතිමය ක්‍රියාමාර්ගයෙන් පසුව වරද පිළිගැනීමකින් තොරව මෙම වන්දි මුදල ලබාදීමට එකඟතාව පළවී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණයෙහි අවසාන අනුමැතිය ලැබීමෙන් අනතුරුව, සුදුසුකම් ලබන සාමාජිකයින් වෙත මෙම වන්දි මුදල් බෙදා හැරීමට නියමිතයි.



