ඕස්ට්‍රේලියාවේ WA ප්‍රාන්තයේ Pilbara කලාපයේ පිහිටි Port Hedland වරායෙන් දිනපතා ඩොලර් බිලියන ගණනක යකඩ අකරය අපනයනය කළද, ඊට මීටර් කිහිපයක් ඈතින් පිහිටි South Hedland ප්‍රදේශයේ ළමුන් දැඩි දිළිඳුකමින් පීඩා විඳින බවට අනාවරණය වී තිබෙනවා.

මෙම තත්ත්වයට පිළියම් යොදමින්, Youth Involvement Council (YIC) සහ Valuing Children Initiative (VCI) එකතුව ආරම්භ කළ End Child Poverty ව්‍යාපාරය හරහා එම ළමුන්ගේ හඬ පටිගත කර Canberra හි පිහිටි ෆෙඩරල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හමුවේ ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා. YIC හි ප්‍රධාන විධායක Tania Murray සහ VCI හි Sarah Quinton පෙන්වා දෙන්නේ, ආහාර නොමැතිකම, අධික ලෙස නිවාස පිරී පැවතීම සහ ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා එම ප්‍රදේශයේ ළමුන් 500 කට වැඩි පිරිසක් දැඩි අභියෝගවලට මුහුණ දී සිටින බවයි.

ළමා දිළිඳුකම පිටුදැකීම සඳහා ජාතික මට්ටමේ නීතිමය ක්‍රමවේදයක් සකස් කරන ලෙස WA හි ළමා කොමසාරිස් Jacqueline McGowan-Jones සහ සංවිධායකයින් රජයෙන් ඉල්ලා සිටින අතර, පවතින සැබෑ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා Canberra හි සිටින බලධාරීන්ට පැමිණෙන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ආරාධනා කර සිටින්නේ.