ඕස්ට්‍රේලියාවේ central NSW හි පිහිටි Fifield ගොවිපළ ප්‍රදේශයේ scandium ඛනිජය කැණීම සදහා ඇමෙරිකාව ඩොලර් මිලියන 560 ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඇමෙරිකානු ජනාධිපති Donald Trump විසිනුයි මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ.
Melbourne පදනම් කරගත් Sunrise Energy Metals සමාගම මගින් Fifield හි Syerston ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය, ලොව ප්‍රථම ප්‍රධාන scandium ඛනිජ පතල බවට පත්වීමට නියමිතයි.
ආරක්ෂක කටයුතු, ගගනගාමී තාක්ෂණය සහ අධි-තාක්ෂණික නිෂ්පාදන සඳහා යොදාගන්නා මිශ්‍ර ලෝහ ශක්තිමත් කිරීම සඳහා මෙම scandium ඛනිජය බහුලව භාවිත කෙරෙනවා. දැනට මෙම ඛනිජ සැපයුමේ වැඩි බලයක් චීනය සතුව පවතින අතර, එම ඒකාධිකාරයෙන් මිදී තමන්ගේ සැපයුම් මාර්ග විවිධාංගීකරණය කිරීමටයි ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සූදානම් වන්නේ.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් සම්පත් අමාත්‍ය මැඩලීන් කිං සඳහන් කළේ ලැප්ටොප් වැනි නූතන තාක්ෂණික මෙවලම් මෙන්ම ආරක්ෂක පද්ධති සඳහා ද මෙම ස්කැන්ඩියම් ඛනිජය අත්‍යවශ්‍ය වන බවයි.
මෙම ව්‍යාපෘතිය මගින් වසර 32 ක කාලයක් පුරා ප්‍රදේශයේ නව රැකියා 400 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය වන බව නිව් සවුත් වේල්ස් පතල් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටීවන් ගැලීලි ප්‍රකාශ කළා. එමෙන්ම බස්නාහිර කලාපයේ අනාගතයට මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවයි ලැක්ලන් ෂයර් නගරාධිපති ජෝන් මෙඩ්කාෆ් සඳහන් කළේ.
පසුගිය වසරේ වොෂින්ටනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති ඇන්තනි ඇල්බනීස් අතර අත්සන් කෙරුණු අති-වැදගත් ඛනිජ පිළිබඳ ගිවිසුම සමඟයි ඇමෙරිකාව මෙම ව්‍යාපෘතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ.



