වයස අවුරුදු 23ක් වන Enosh Tampoe සහ ඔහුගේ පවුලේ අය මීට වසර 16කට පෙර ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර, එතැන් සිට ඔවුන් ජීවත් වන්නේ කුලී නිවසකයි. Sydney හි උකස් සහ මූල්‍ය උපදේශකයෙකු ලෙස සේවය කරන Enosh පවසන්නේ, මුල සිටම ජීවිතය පටන් ගත් සංක්‍රමණික පවුලක් ලෙස තමන්ට කුඩා කල සිටම අනෙක් අයට වඩා මූල්‍යමය වශයෙන් පසුපසින් සිටින බව හැඟුණු බවයි.

පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවකට ගොස් සාමාන්‍ය ක්‍රමයට ධනය ගොඩනැගීමට නොහැකි බව වටහාගත් ඔහු, කුඩා කල සිටම මුදල් ඉතිරි කර වසර දෙකකට පෙර Sydney හි මහල් නිවාසයක් මිලදී ගත්තා. සමස්ත පවුලටම ජීවත් විය හැකි ඩොලර් මිලියන 3ක වටිනාකමකින් යුත් නිවසක් ලබාගැනීම සඳහා ඩොලර් 600,000ක පූර්ව තැන්පතුව එකතු කරගැනීමට ඔහු මේ වන විට වසර 10ක ඉලක්කයක් තබාගෙන තිබෙනවා. එම ඉලක්කයට ඉක්මනින් ළඟාවීම සඳහා ඔහු දෙමාපියන් සමඟ ජීවත් වෙමින්, තමා මිලදී ගත් මහල් නිවාසය කුලියට දී negative gearing හි බදු සහන ලබාගනිමින් සිටිනවා.

කෙසේ වෙතත්, 2027 ජූලි 1 සිට මධ්‍යම රජය negative gearing බදු සහන අලුතින් ඉදිකරන නිවාස සඳහා පමණක් සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ, තමාට ලබාගත හැකි ණය ප්‍රමාණය  20%කින් පමණ අඩු වී ඇති බවත්, එමගින් තමාගේ දෙවන ආයෝජන දේපළ මිලදී ගැනීමේ සැලසුම් තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවත් Enosh වැඩිදුරටත් සඳහන් කරනවා.

ඕස්ට්‍රේලියාවේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව නිවාස මිල ගණන් තවමත් ඉහළ මට්ටමක පවතිනවා. දශක ගණනාවක් පුරා පවතින දැඩි නීති පද්ධතිය හේතුවෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම මීට ප්‍රධාන හේතුව බව ආර්ථික විශේෂඥ Chris Richardson පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ථ ධනයෙන් තුනෙන් දෙකක්ම දේපළ වෙළඳපොළ තුළ පැවැතීම කැපී පෙනෙන තත්ත්වයක්.