ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොළේ ආයෝජක ණය ලබාගැනීම් පසුගිය ජූනි කාර්තුව තුළ 8.6% කින් කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයෙහි නවතම දත්ත පෙන්වා දෙනවා.

අයවැයෙන් ප්‍රකාශිත බදු සංශෝධන හේතුවෙන් ආයෝජකයින් මෙලෙස පසුබැසීම පළමු නිවාස මිලදී ගන්නන්ට ලැබුණු යහපත් ප්‍රවණතාවක් බව Treasurer Jim Chalmers ප්‍රකාශ කළද, ආර්ථික විශේෂඥයින් පවසන්නේ එම ඉඩ තවමත් පළමු නිවාස මිලදී ගන්නන් විසින් පිරවීමට සමත්වී නොමැති බවයි. එම කාර්තුව තුළ පළමු නිවාස ණය සංඛ්‍යාවද 2.9% කින් පහත වැටී තිබෙනවා.

Boresight, CBA, NAB සහ Westpac වැනි ආයතනවල දත්තවලට අනුව, ආයෝජකයින් වෙළඳපොළෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නැති අතර, ඔවුන් වැඩි ලාභයක් සහ අඩු ආරම්භක පිරිවැයක් සහිත ඒකක වෙතට තම අවධානය යොමුකර ඇති බවයි Real Estate Group හි Luc Redman සහ ආර්ථික විශේෂඥ Cameron Kusher පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් ඉදිරියේදී කුලී නිවාස හිඟයක් ඇතිවී කුලී ගාස්තු ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා.