කිරි ලබාගන්නා ප්‍රධාන සැකසුම් සමාගම විසින් ගිවිසුම අලුත් නොකිරීම හේතුවෙන්, තමන් සතු Brown Swiss වර්ගයේ එළදෙනුන් 600 දෙනෙකුගෙන් යුත් ගොවිපළ වසා දැමීමට සිදුවනු ඇතැයි Queensland හි ගොවියෙකු වන Jason Rozynski කනගාටුව පළකරනවා.

වසර 80 කට ආසන්න කාලයක් පවත්වාගෙන ආ මෙම පවුලේ ගොවිපළෙන් වසරකට කිරි ලීටර් මිලියන 3.3 ක් පමණ නිෂ්පාදනය කරන අතර, මෙතෙක් කිරි ලබාගත් Maleny Dairies සමාගම ඉදිරි මාසයේ සිට කිරි මිලදී ගැනීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. අතිරික්ත කිරි ප්‍රමාණය පාලනය කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි එම සමාගම පවසන්නේ.

නමුත් වෙනත් කිසිදු ප්‍රධාන කිරි සමාගමක් ස්ථිර ලෙස කිරි මිලදී ගැනීමට ඉදිරිපත් නොවීම නිසා, තමන් නිපදවන කිරි ලබාදීමට වෙනත් ස්ථානයක් නොමැතිව අසරණ වී සිටින බව Jason Rozynski පවසනවා.

අඩු මිලට වෙනත් ප්‍රාන්තවලින් කිරි ගෙන ඒම සහ ප්‍රධාන කිරි පිරිසැකසුම් මධ්‍යස්ථාන කිහිපයක කටයුතු සීමා වීම නිසා Queensland හි කිරි ගොවීන් මේ වන විට විශාල අර්බුදයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ.