කාලගුණයේ සිදුවූ හදිසි වෙනස්වීමත් සමග Perth සහ ඒ හා සමාන ප්‍රදේශවලට වසර කිහිපයකින් වාර්තා වූ අධිකම ශීතල කාලගුණය වාර්තා වී තිබෙනවා.

සඳුදා දිනයේ පැවැති තද වැසි සහිත කාලගුණයෙන් පසුව අහස පැහැදිලි වීමත් සමගම මෙලෙස රාත්‍රී කාලයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව Perth හි අවම උෂ්ණත්වය 2.5°C දක්වා පහත වැටී ඇති අතර, මෙය වසර 9 කට පසු අගෝස්තු මාසයකදී Perth නගරයෙන් වාර්තා වූ අඩුම උෂ්ණත්වයයි.

මීට අමතරව Perth වලට දකුණින් පිහිටි Bunbury හි උෂ්ණත්වය 0.8°C දක්වාත්, Mandurah හි 5.4°Cදක්වාත් පහත බැස තිබෙනවා.

කෙසේ වෙතත් Western Australia හි අඩුම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ York ප්‍රදේශයෙන් වන අතර, එහි උෂ්ණත්වය -1°C දක්වා පහත වැටුණා.

නමුත් ඉදිරි දින කිහිපය තුළ මෙම අධික ශීතල තත්ත්වය ක්‍රමයෙන් අඩුවී සාමාන්‍ය කාලගුණ තත්ත්වයක් ඇතිවනු ඇතැයි කාලගුණ අංශ විශ්වාස කරනවා.