ගතවූ වසර තුළ ඕස්ට්‍රේලියානු ADF හමුදා කඳවුරුවලට අවසර නොලැබූ ඩ්‍රෝන යානා ඇතුළු වීමේ සිදුවීම් 147 ක් වාර්තා වී ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියානු රජයට මේ සම්බන්ධයෙන් දැඩි දේශපාලන හා ආරක්ෂක බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2022/2023 වසරේදී 21 ක් ලෙස වාර්තා වූ මෙවැනි සිදුවීම්, 2023/2024 දී 60 දක්වාත්, 2024/2025 වසරේදී 147 දක්වාත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
විශේෂයෙන්ම ජූලි 11 වනදාත් 13 වනදාත් අතර කාලය තුළ, ඕස්ට්‍රේලියාවේ F-35A Joint Strike Fighters ප්‍රහාරක යානා රඳවා තබා ඇති RAAF Base Williamtown කඳවුරට ඉහළින් නාඳුනන ඩ්‍රෝන සමූහයක් පියාසර කර තිබුණා. ඊට අමතරව RAAF Base Amberley, RAAF Base Richmond, RAAF Base Edinburgh සහ RAAF Base Townsville යන කඳවුරුවලින්ද මෙවැනි සැකකටයුතු සිදුවීම් වාර්තා වී තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ ආරක්ෂක නිලධාරීන්ට ඉහළින් ලැබී ඇති උපදෙස වී ඇත්තේ "ජනේලවල තිර වසා තබන ලෙස පමණක් බවත්, එය රටේ ජාතික ආරක්ෂක උපායමාර්ගය විය නොහැකි බවත් පවසමින් විපක්ෂ අමාත්‍ය Phillip Thompson රජය දැඩි ලෙස විවේචනය කර සිටිනවා.
මේ අතර, ඉදිරි දශකය තුළ ඩ්‍රෝන මර්දන තාක්ෂණයන් වෙනුවෙන් ඩොලර් බිලියන 7 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවත්, Project LAND 156 යටතේ ආරක්ෂිත ප්‍රදේශ ආශ්‍රිතව පියාසර කරන ඩ්‍රෝන යානා අක්‍රිය කිරීමට හෝ විනාශ කිරීමට අවශ්‍ය නීතිමය හා තාක්ෂණික බලතල තහවුරු කර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළා.



