ඕස්ට්‍රේලියාව අනාගත AI තර්ජනවලින් ආරක්ෂා වීමට 'පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්' (Early Warning System) ස්ථාපිත කළ යුතු බව මෙරට ප්‍රධාන සයිබර් ආරක්ෂක ප්‍රධානිනිය පවසනවා.

Australian Signals Directorate හි අධ්‍යක්ෂ ජෙනරාල් Abigail Bradshaw සඳහන් කළේ, AI තාක්ෂණය මගින් සිදුවිය හැකි අනතුරු කලින් හඳුනා ගැනීමට සහ ඊට මුහුණ දීමට ආරක්ෂක අංශ මෙන්ම AI සමාගම් ද එක්ව කටයුතු කළ යුතු බවයි. සයිබර් ආරක්ෂාවට අමතරව ජෛව තාක්ෂණය (Biotechnology) වැනි ක්ෂේත්‍රවලට ද AI මගින් එල්ල විය හැකි අවදානම් හඳුනා ගැනීමට මෙවැනි පද්ධතියක් අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දුන්නා.

එසේම, සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ද AI තාක්ෂණය භාවිත කළ යුතු බවත්, OpenAI සහ Anthropic වැනි ප්‍රමුඛ සමාගම්වල දියුණු AI මාදිලි භාවිත කරමින් පද්ධතිවල පවතින දුර්වලතා පැය කිහිපයක් ඇතුළත හඳුනා ගැනීමට තම ඒජන්සියට හැකියාව ලැබී ඇති බවත් ඇය සඳහන් කළා.

මේ අතර, ASPI හි පැවැති මෙම සමුළුවට එක්වූ ඕස්ට්‍රේලියාහි සහකාර විද්‍යා අමාත්‍ය Andrew Charlton ප්‍රකාශ කළේ, AI තාක්ෂණයේ වර්ධනය පාලනය කිරීමේ සහ නියාමනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ඕස්ට්‍රේලියාව වැනි රටවල් ද සක්‍රීයව දායක විය යුතු බවයි. Global වශයෙන් AI සංවර්ධනය මන්දගාමී කිරීමට (AI Slowdown) කෙරෙන ඉල්ලීම් හමුවේ, OpenAI ඇතුළු සමාගම් රජයන් සහ AI Safety Institutes සමග එක්ව කටයුතු කරමින් සිටින බවද මෙහිදී අනාවරණය වුණා.