කෘත්‍රිම බුද්ධිය (AI) සීඝ්‍රයෙන් වර්ධනය වීම පාලනය කිරීම සඳහා නියාමනයන් සහ සීමාවන් පැනවිය යුතු බවට හිටපු Labor නායක Bill Shorten සහ හිටපු Coalition ආරක්ෂක අමාත්‍ය Christopher Pyne බලකර සිටිනවා. Bill Shorten පෙන්වා දුන්නේ, නිසි පාලනයක් නොමැතිව AI තාක්ෂණය දියුණු කිරීම න්‍යෂ්ටික ආයුධ නිර්මාණය කිරීමට හා සමාන අවදානමක් ඇති කළ හැකි බවයි. එම නිසා න්‍යෂ්ටික ආයුධ ව්‍යාප්තිය පාලනය කිරීමට යොදාගත් NNPT ගිවිසුම වැනි ජාත්‍යන්තර AI නියාමන රාමුවක් වහාම ස්ථාපිත කළ යුතු බවත්, ඊට ඕස්ට්‍රේලියාව පෙරමුණ ගත යුතු බවත් ඔහු සඳහන් කළා.

මෙම අදහස අනුමත කරමින් Christopher Pyne කියා සිටියේ, AI මගින් මිනිසාට විශාල යහපතක් සිදුවිය හැකි වුවත්, මිනිසාට වඩා බුද්ධිමත් තාක්ෂණයක් නිර්මාණය වීමෙන් අනාගතයේදී මානව වර්ගයාගේ පැවැත්මටම තර්ජනයක් එල්ල විය හැකි බවයි. OpenAI, Anthropic, xAI වැනි ප්‍රමුඛ ආයතනවල විද්‍යාඥයින් සහ ප්‍රධානීන් පවා මේ වන විට AI දියුණුව තරමක් මන්දගාමී කර නියාමනය කරන ලෙස ඉල්ලා සිටින බව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ පවත්නා සංක්‍රමණික සහ විදේශීය ශිෂ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු දේශපාලනඥයින් දෙදෙනාම කියා සිටියේ, විදේශීය සිසුන් පැමිණීම සීමා කිරීම රටේ ආර්ථිකයට දැඩි හානියක් සිදු කරන බවයි. රටේ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය, පර්යේෂණ කටයුතු සහ ප්‍රාදේශීය රැකියා උත්පාදනය උදෙසා විදේශීය සිසුන්ගෙන් ලැබෙන දායකත්වය අතිමහත් බවත්, ඕස්ට්‍රේලියාවේ සාර්ථකත්වයට සංක්‍රමණිකයින් සහ බහුසංස්කෘතිකභාවය ප්‍රධාන හේතුවක් වූ බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.