Western Australia පොලීසිය විසින් පළමු වරට සජීවී AI මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය අත්හදා බැලීම සඳහා යොදාගැනීම පිළිබඳව නීති ප්‍රවීණයන් සහ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන බලවත් විරෝධයක් පළ කරනවා.

පසුගිය ජූනි මාසයේ සිට Perth සහ Fremantle යන ප්‍රදේශවල ආරම්භ වූ මෙම වැඩසටහන යටතේ කැමරා පද්ධති මගින් පුද්ගලයින් 130,000 කට වැඩි පිරිසකගේ මුහුණු ස්කෑන් කර පොලිස් සැකකරුවන්ගේ ලැයිස්තුවක් සමග සංසන්දනය කර ඇති අතර, එහිදී පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මෙම තාක්ෂණයේ පවතින දෝෂ හේතුවෙන් කාන්තාවන් සහ වෙනත් ජාතිකත්වයන් සහිත පුද්ගලයින් වැරදි ලෙස හඳුනාගැනීමේ අවදානමක් පවතින බව නීති විශේෂඥයින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම මෙමගින් First Nations හෙවත් ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනතාව ඉලක්ක වන බවට ප්‍රබල චෝදනාවක් එල්ල වන අතර, ස්වාධීන නීති උපදේශනයකින් තොරව මෙම පියවර ගැනීම පිළිබඳව පෞද්ගලිකත්ව කොමිෂන් සභාවද පොලීසියට අනතුරු අඟවා තිබෙනවා.

කෙසේ වෙතත් Western Australia පොලීසිය සඳහන් කරන්නේ මෙය හුදෙක් ප්‍රජාවේ කිසිදු විශේෂ කණ්ඩායමක් ඉලක්ක කරගත් එකක් නොවන අතර, සාර්ථකත්වය මත පදනම්ව සසුරුවන ලද්දක් බවයි. ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තවල පොලිස් බලකායන්ද මෙම පරීක්ෂණාත්මක වැඩසටහන දෙස නිරීක්ෂණයෙන් පසුවන බව සඳහන්.