මාධ්‍ය ක්ෂේත්‍රය තුළ AI තාක්ෂණය භාවිතය ඉහළ යාමත් සමඟ තම වෘත්තියේ අනාගතය පිළිබඳව ඕස්ට්‍රේලියානු කාටූන් ශිල්පීන් දැඩි කනස්සල්ල පළ කරනවා.
මෑතකදී ඕස්ට්‍රේලියාවේ Herald Sun පුවත්පත විසින් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Ben Carroll සම්බන්ධ ලිපියක් සඳහා AI මගින් නිර්මාණය කළ කාටූනයක් පළ කිරීමත් සමඟ මෙම කතාබහ නැවත මතුව තිබෙනවා. වසර දෙකක පමණ කාලයක සිට News Corp ආයතනය මෙලෙස AI භාවිතයෙන් සිතුවම් නිර්මාණය කරන බවයි වාර්තා වන්නේ.
වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත කාටූන් ශිල්පිනී Fiona Katauskas සඳහන් කළේ, මාධ්‍ය ආයතනවල පවතින මුල්‍ය අර්බුද හමුවේ පුවත්පත් පිටු පිරවීම සඳහා AI භාවිත කිරීම ශිල්පීන්ගේ රැකියා අහිමි වීමට හේතුවක් බවයි. එමෙන්ම Australian Cartoonists Association හි නියෝජ්‍ය සභාපති David Blumenstein පෙන්වා දෙන්නේ AI භාවිතය මුළු කාටූන් ක්ෂේත්‍රයටම දැඩි බලපෑමක් එල්ල කරන බවයි.
මේ අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා කප්පාදු කිරීම සඳහා AI තාක්ෂණය යොදාගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, සේවක අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය සමිති ඉදිරිපත් විය යුතු බව University of Melbourne හි ආචාර්ය Jeff Sparrow සඳහන් කළා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක්ම AI භාවිතය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටිනවා. News Corp ආයතනය සංස්කාරක අනුමැතිය සහිතව AI රූප පළ කිරීමට ඉඩදෙන අතර, Nine Publishing ආයතනය AI මගින් සිතුවම් නිර්මාණය කිරීම සම්පූර්ණයෙන්ම පාහේ තහනම් කර තිබෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රය තුළ AI භාවිතයේදී වැඩි පාරදෘශ්‍යතාවක් සහ වගවීමක් පැවතිය යුතු බවයි මාධ්‍ය වෘත්තීය සමිති වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


