පරම්පරාවෙන් පරම්පරාවට දේපළ සහ ධනය කිසිදු බද්දකින් තොරව පැවරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ආර්ථික අසමානතාවය මේ වන විට දැඩි ලෙස ඉහළ යමින් පවතින බව නවතම වාර්තා පෙන්වා දෙනවා. මෙම තත්ත්වයට විසඳුමක් ලෙස ධන බද්දක් හෝ ඉඩම් බද්දක් හඳුන්වා දීම පිළිබඳව දැන් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Australian Institute of Family Studies (AIFS) ආයතනයේ නවතම වාර්තාවකට අනුව, 2001 සහ 2018 අතර කාලය තුළ උරුමයන් ලබන පිරිස  4.8% සිට 7.2% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම මූල්‍යමය තෑගි ලබන පිරිස 10.5% සිට 15.8% දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම, තරුණ පරම්පරාවට නිවාස මිලදී ගැනීම සඳහා පවුලේ උදව් ලැබීම (Bank of Mum and Dad) මේ වන විට ප්‍රධාන සාධකයක් වී ඇති අතර, ඕස්ට්‍රේලියානු නිවාස හිමියන්ගෙන් 30%ක් පමණ මෙලෙස පවුලේ මූල්‍ය ආධාර ලබාගෙන තිබෙනවා.

පරම්පරාගතව ලැබෙන අතිවිශාල ධනය මෙලෙස බද්දකට යටත් නොවීම නිසා, ඉදිරියේදී විශ්‍රාමිකයින් විශාල පිරිසක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව Anglicare ආයතනයේ විධායක අධ්‍යක්ෂ Kasy Chambers දැඩි ලෙස අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, උරුම බදු හඳුන්වා දීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලු මතුවිය හැකි බවයි Tax and Transfer Policy Institute හි අධ්‍යක්ෂ මහාචාර්ය Robert Breunig පෙන්වා දෙන්නේ. දේපළ මත රඳා පවතින ධනයට නිසි බදු පැනවීම සඳහා පුළුල් පදනමක් සහිත ඉඩම් බද්දක් (broad-based land tax) වඩාත් සුදුසු වුවද, ෆෙඩරල් රජය මේ දක්වා එය ප්‍රතික්ෂේප කර තිබීම විශේෂත්වයක්.