ලබන ඔක්තෝබර් 6 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි Melbourne ගුවන්තොටුපොළෙහි මගී හුවමාරුව සඳහා නව පරිශ්‍ර කිහිපයක් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. 1970 වසරෙන් පසුව එනම්, වසර 56 කට පසුව එම ගුවන් තොටුපොළ මාර්ග පද්ධතියේ සිදුවන විශාලතම වෙනස්කම මෙය බවයි වාර්තා වන්නේ.
මෙම නව ක්‍රමවේදයත් සමඟ දැනට පවතින ස්ථාන වසා දැමෙන අතර, මගී හුවමාරුව සඳහා ආවරණය කරන ලද නව රථ නවතා තැබීමේ පරිශ්‍රය භාවිතා කිරීමට සිදුවනවා. ඒ අනුව පැමිණෙන රථවාහන Tullamarine Freeway හි Exit 19 වෙතින් කලින්ම ඉවත්වී, ගුවන් තොටුපොළ පර්යන්ත වෙත ගමන් කළ යුතු වනවා.
ජාත්‍යන්තර පර්යන්තය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි Melbourne Airport හි ප්‍රධාන විධායක නිලධාරිනී Lorie Argus සඳහන් කළේ. දිනකට ලක්ෂයකට අධික පිරිසක් භාවිතා කරන මෙම ගුවන් තොටුපොළේ වාර්ෂික මගී සංඛ්‍යාව 2047 වන විට මිලියන 75 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම නව පහසුකම මඟින් පෞද්ගලික සහ වාණිජ වාහන ගමනාගමනය වෙන් කෙරෙන අතර, මගීන්ට වැසි සහ අව්වෙන් ආවරණය වූ පරිසරයක සනීපාරක්ෂක පහසුකම් සහිතව රැඳී සිටීමටද හැකියාව ලැබෙනවා. කෙසේ වෙතත් Mercer Drive ආසන්නයේ පවතින විනාඩි 60 ක නොමිලේ රැඳී සිටීමේ කාල සීමාව ඉදිරියටත් එලෙසම ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.



