ඕස්ට්‍රේලියාවේ අගමැති Anthony Albanese සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති Donald Trump අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. පසුගිය මාර්තු මාසයෙන් පසුව දෙරටේ නායකයින් අතර මෙවැනි සංවාදයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
පැයකට ආසන්න කාලයක් පැවැති මෙම සාකච්ඡාව ඉතා ඵලදායී එකක් වූ බව පැවසූ අගමැති Anthony Albanese, වසර 75 ක ඉතිහාසයක් ඇති දෙරටේ සබඳතාව තවදුරටත් ශක්තිමත් වන බව සඳහන් කළා. එමෙන්ම, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රධාන ආරක්ෂක ගිවිසුමක් වන AUKUS වැඩසටහන් ඉදිරියටම ක්‍රියාත්මක වන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය පනවා ඇති 12.5% ක බදු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා. එම බදු මුළුමනින්ම ඉවත් කරන ලෙස හෝ අවම තරමින් වැඩි නොකරන ලෙස තමන් ජනාධිපති Donald Trump ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ පිළිබඳ සානුකම්පිතව බලන බවට ජනාධිපතිවරයා එකඟ වූ බවත් අගමැති Albanese පැවසුවා.
මීට අමතරව, දැනට පවතින ඉරාන යුද්ධය සහ ඒ හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම පිළිබඳවද නායකයින් දෙපළගේ අවධානය යොමුව තිබෙනවා. එහිදී ඉරාන රාජ්‍යයට න්‍යෂ්ටික ආයුධ ලබාගැනීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කළ අගමැතිවරයා, මෙම කලාපීය අර්බුදය ඉක්මනින් අවසන් වනු දැකීම ඕස්ට්‍රේලියාවේ අපේක්ෂාව බවද වැඩිදුරටත් අවධාරණය කළා.



