අද උදෑසන Altona North හි පිහිටි නිවසකට වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුයම 3.30 ට පමණ Seventh Avenue හි පිහිටි නිවසක ඉදිරිපස කොටසට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී නිවැසියන් නිදා සිට ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
සිද්ධියෙන් පසුව පොලිසිය ප්‍රදේශය පුරා මුර සංචාරයන් ක්‍රියාත්මක කළද, මුලදී සැකකරුවන් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුව මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක කෙරෙන සුදු පැහැති Toyota Hilux වර්ගයේ වාහනයක් Craigieburn හි Cleveland Drive ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.
පොලිසිය එම වාහනය පසුපස හඹා යද්දී, එයින් බැස Elsternwick Way දෙසට පලා යාමට උත්සාහ කළ එක් සැකකරුවෙකු වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. අනෙක් සැකකරුවන් දෙදෙනා Middlesborough Drive හි පිහිටි නිවසක සිටියදී සොයාගෙන ඇති අතර, පොලිස් නිලධාරීන් සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව අලුයම 5.00 ට පමණ ඔවුන්ව ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Parwan හි පදිංචි 18 හැවිරිදි තරුණයෙක්, Craigieburn හි පදිංචි 21 හැවිරිදි තරුණයෙක් සහ 41 හැවිරිදි පුද්ගලයෙක්. විමර්ශන නිලධාරීන් විසින් ඉදිරියේදී ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.
අදාළ Toyota වාහනය ජූලි 30 වන දින රාත්‍රී 10.00 ත් ජූලි 31 වන දින අලුයම 5.00 ත් අතර කාලය තුළ Craigieburn ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවටයි දැනට සැක කෙරෙන්නේ.
මෙම වෙඩි තැබීම යම් නිශ්චිත ඉලක්කයක් මුල් කරගනිමින් සිදුකරන ලද්දක් බව විමර්ශන නිලධාරීන් විශ්වාස කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.
මෙම සිද්ධිය ඇසින් දුටු අයෙකු, ඒ ආශ්‍රිත CCTV හෝ dashcam දර්ශන සතුව ඇති අයෙකු හෝ යම් තොරතුරක් දන්නා අයෙකු වේ නම්, 1800 333 000 අංකය ඔස්සේ Crime Stoppers වෙත අමතන ලෙස හෝ www.crimestoppersvic.com.au වෙබ් අඩවිය හරහා රහසිගතව වාර්තා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



