මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල, බැඳුම්කර අස්වැන්න සහ උද්ධමනය ඉහළ යාමේ අවදානම හමුවේ ඕස්ට්‍රේලියාවේ කොටස් වෙළඳපොළ මාස 4 කට පසු පහළම අගයට ඇද වැටී තිබෙනවා.
ඊයේ දිනය අවසානයේදී ASX 200 දර්ශකය ප්‍රසාද ලකුණු 37 කින් එනම්, 0.43% කින් පහළ ගොස් 8665.00 ක් ලෙස සටහන් වුණා. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාතික නැවත ඉහළ දැමීමට සිදුවනු ඇතැයි පවතින බිය මෙම පසුබැසීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, පොලී අනුපාතික ඉහළ යාමෙන් වාසි අත්වනු ඇතැයි අපේක්ෂාවෙන් Commonwealth Bank, NAB, Westpac සහ ANZ ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරේ කොටස් අගයන් ඊයේ දිනයේදී යම් ඉහළ යාමක් පෙන්නුම් කළා. නමුත් ඉදිරි සතියේදී පැවැත්වෙන මහ බැංකු රැස්වීම පිළිබඳවද ආයෝජකයන් දැඩි අවධානයකින් පසුවන බවයි වාර්තා වන්නේ.



