රජය විසින් ලබා දුන් තාවකාලික ඉන්ධන සහනය අවසන් වීමත් සමඟ, ඕස්ට්‍රේලියාව පුරා රියදුරන්ට ඉදිරියේදී පෙට්‍රල් සහ ඩීසල් සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව වාර්තා වනවා. ඒ අනුව ඉදිරි සතියේදී ඩීසල් ලීටරයක මිල ඩොලර් 2.40 දක්වා ඉහළ යා හැකි අතර, ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ අගනගරවල unleaded පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෆෙඩරල් රජයේ තාවකාලික ඉන්ධන සුරාබදු සහන වැඩසටහනේ අවසාන අදියර ඉරිදා රාත්‍රී 11:59ට අවසන් වන අතර, ඒ සමඟම සඳුදා සිට තොග පෙට්‍රල් සහ ඩීසල් ලීටරයකට ශත 16ක පමණ මුදලක් එකතු වේ. ඊට අමතරව උද්ධමනයට අනුකූලව සිදුවන ගාස්තු සංශෝධනයත් සමඟ තවත් ශතයක මුදලක් එකතු වීම නිසා, සමස්ත මිල වැඩිවීම ලීටරයකට ශත 17ක් විතර වනු ඇති.
කෙසේ වෙතත්, මෙම බදු ඉහළ නැංවීම වහාම ක්‍රියාත්මක වුණත්, දැනට අඩු මිලට ලබාගෙන ඇති ඉන්ධන තොග අවසන් වන තෙක් ඉන්ධන පිරවුම්හල්වල මිල ගණන් එකවර ඉහළ යාමක් සිදු නොවේ. මෙම මිල වැඩිවීම ක්‍රමයෙන් පාරිභෝගිකයාට බලපානු ඇතැයි විශ්වාස කෙරේ.
රට පුරා සාමාන්‍ය Unleaded පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2 ඉක්මවා යන බවත් NRMA මාධ්‍ය ප්‍රකාශක Peter Khoury මහතා සෙනසුරාදා පැවැති මාධ්‍ය වැඩසටහනට අදහස් දක්වමින් පැවසුවා.
"ඉන්ධන පිරවුම්හල්වලදී ඔබට මේ වෙනස එකපාරටම දැකගන්න ලැබෙන එකක් නැහැ. මේ මිල වැඩිවීම් රට පුරා ක්‍රියාත්මක වෙන්න යම් කාලයක් යාවි, නමුත් මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා." — ඔහු ප්‍රකාශ කර සිටියා.
ඩීසල් මිල ලීටරයකට ඩොලර් 2.30ත් 2.40ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙය දැනටමත් ඉහළ යන ජීවන වියදම හමුවේ අසීරුතාවට පත්ව සිටින පවුල්වලට අමතර පීඩනයක් එල්ල කරනවා.
පසුගිය ජූලි මාසයේදී රජය විසින් මූලික හදිසි ඉන්ධන සුරාබදු කප්පාදුව ඉවත් කළත්, ලීටරයකට ශත 16ක සහනය තවත් මාසයකට දීර්ඝ කර තිබුණා. සඳුදා සිට මෙම තාවකාලික සහනය සම්පූර්ණයෙන්ම අහෝසි වී පැවැති පූර්ණ ගාස්තු නැවත ක්‍රියාත්මක වෙනවා.
මෙම මිල වැඩිවීම රියදුරන්ට පමණක් නෙවෙයි, ඉහළ යන ඩීසල් මිල නිසා ගොවීන්, මූලික නිෂ්පාදකයින් සහ ප්‍රවාහන සමාගම්වල වියදම් ඉහළ යාමටත් හේතු වෙනවා. එමගින් ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා. කෙසේ වෙතත්, ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල ඩොලර් 142 සිට ඩොලර් 133 දක්වා මෑතකදී පහත වැටීම නිසා ඉදිරියේදී සිදුවන මිල වැඩිවීමේ පීඩනය යම් තරමකට අඩුවීමට ඉඩ තිබෙනවා.
සහනය අවසන් වීමට පෙර ඉන්ධන පිරවුම්හල් වෙත එකතු වී කලබලයෙන් ඉන්ධන එකතු කිරීමෙන් වළකින ලෙස Peter Khoury ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ කලබලයෙන් ඉන්ධන මිලදී ගැනීම නිසා ඉල්ලුම වැඩි වී මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔහු අනතුරු අඟවන්නේ.
"ඔබට අවශ්‍ය වෙලාවට විතරක් ඉන්ධන ලබාගන්න. අපේ සාමාන්‍ය හැසිරීම් රටාව වෙනස් කරගන්න ඕන නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.
එසේම, ඉන්ධන ලබාගැනීමට පෙර NRMA App එක හෝ අදාළ ප්‍රාන්ත රජයේ Fuel Price Platforms භාවිත කරමින්, තත්‍ය කාලීනව තමන්ට ආසන්නතම අඩුම මිල ගණන් සහිත ඉන්ධන පිරවුම්හල් සොයාගෙන ඉන්ධන ලබාගන්නා ලෙසද රියදුරන්ට උපදෙස් දී තිබෙනවා.



