ඕස්ට්‍රේලියාවේ නීතිවිරෝධී සිගරට් ජාවාරම ඉහළ යන පසුබිමක, Albanese රජය තම දුම්කොළ බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
Liberal පාර්ලිමේන්තු මන්ත්‍රී Mary Aldred ප්‍රකාශ කළේ, නීත්‍යානුකූල සිගරට් පැකට්ටුවක මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයින් පස්ගුණයකින් පමණ අඩු මිලට ලැබෙන නීතිවිරෝධී සිගරට් වෙත යොමුවී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ බදු මුදල් සංශෝධනය කිරීමට Labor රජය මැලිවීම දැඩි අසාධාරණ බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ දුම්පානය කරන්නන්ගෙන් 80%ක්ම නීතිවිරෝධී කළු කඩයෙන් සිගරට් මිලදී ගන්නා බව හෙළිවී තිබෙනවා.
නීතිවිරෝධී ජාවාරම පාලනය කිරීම සඳහා දුම්කොළ බද්ද සූත්‍රයකට අනුව අත්හිටුවීමට හෝ අඩු කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් යෝජනා කර ඇති අතර, Coalition සන්ධානය එම බද්ද 80%කින් අඩු කිරීමට යෝජනා කර සිටිනවා. කෙසේ වෙතත්, එළඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් දුම්කොළ බද්ද ඉහළ නැංවීමටයි Labor රජය තීරණය කර ඇත්තේ.



