දෙවන ලෝක යුද්ධයෙන් පසුව ප්‍රථම වතාවට, යුධ තත්ත්වයකට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව සූදානම් වන්නේ කෙසේදැයි සොයා බැලීමට නව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබෙනවා. කලාපය තුළ යුධමය අවදානමක් මතුවීමේ ප්‍රවණතාව වැඩිවීමත් සමඟ රජයේ මැති ඇමතිවරුන්ගේ අවධානය මේ වෙත යොමු වී ඇති බවයි වාර්තාවන්නේ.
ඕනෑම හදිසි අර්බුදකාරී අවස්ථාවකදී ව්‍යාපාරික ක්ෂේත්‍රයට සහ ජනතාවට ජාතික ආරක්ෂාව උදෙසා දායක විය හැකි ආකාරයත්, ඉන්ධන, පොහොර සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යන ආකාරයත් සෙවීම මෙම කාරක සභාවේ ප්‍රධාන අරමුණයි. ආරක්ෂක අමාත්‍යRichard Marles සඳහන් කළේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාතික පැවැත්ම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව මෙතරම් වැඩි අවධානයක් යොමු කළ පළමු අවස්ථාව මෙය වන බවයි.
කෙසේ වෙතත්, යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි දෙයක් ලෙස රජය විශ්වාස නොකරන නමුත්, ආසියාවේ හෝ ඕස්ට්‍රේලියා භූමිය තුළ යම් අර්බුදයක් ඇති වුවහොත් සිදුවිය හැකි ව්‍යසනකාරී බලපෑම්වලට මුහුණ දීමට රටක් ලෙස සූදානම් විය යුතු බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.



