ඕස්ට්‍රේලියාවේ තරුණ පරපුර දැඩි මූල්‍ය, නිවාස සහ සාමාජික අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව නවතම පර්යේෂණ වාර්තාවකින් හෙළි වී තිබෙනවා. Monash University මගින් සිදුකළ මෙම පර්යේෂණයට අනුව, එරට අවුරුදු 18ත් 24ත් අතර තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් පවසන්නේ තමන් කොතෙක් මහන්සි වී වැඩ කළද අනාගතය පිළිබඳ ස්ථිර බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකි වී ඇති බවයි.
විශේෂයෙන්ම දැරිය හැකි මිලකට නිවාස නොමැති වීම ප්‍රධානතම ගැටලුව වී ඇති අතර, ජීවන වියදම ඉහළ යාම සහ රැකියා අස්ථාවරත්වය හේතුවෙන් තරුණයින්ගෙන් 99%ක්ම දැඩි මානසික පීඩනයකින් පසුවන බව මෙම වාර්තාවේ සඳහන්. මීට අමතරව දේශගුණික විපර්යාසයන්ද ඔවුන්ගේ අනාගත සැලසුම්වලට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.
මෙම අර්බුද හුදකලා ගැටලු නොවන බවත්, එකිනෙකට සම්බන්ධ වූ සංකීර්ණ තත්ත්වයක් බවත් පෙන්වා දෙන පර්යේෂකයින්, තරුණ පරපුර වෙනුවෙන් සහනදායී නිවාස ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීමට රජය වහා පියවර ගත යුතු බව අවධාරණය කරනවා.


