ඔබ මියගිය පසු ඔබේ විශ්‍රාම වැටුප් අරමුදල් හිමිවිය යුත්තේ කාටද යන්න තීරණය කිරීම, සාමාන්‍ය අන්තිම කැමති පත්‍රයකින් තීරණය කිරීමට තරම් සරල නැති බවට ඕස්ට්‍රේලියාවේ විශේෂඥයින් පෙන්වා දෙනවා.

Super Consumers Australia ආයතනයට අනුව, ඕස්ට්‍රේලියානුවන් මිලියන 15.5 කට වැඩි පිරිසකට නිසි මරණ ප්‍රතිලාභ නාමයෝජනාවක් නොමැති අතර, බොහෝ දෙනෙක් සිතා සිටින්නේ අන්තිම කැමති පත්‍රයක් තිබූ පමණින් Super මුදල් ස්වයංක්‍රීයව අදාළ අයට හිමිවන බවයි. නමුත් නීතිමය වශයෙන් යැපෙන්නෙකු ලෙස සැලකෙන්නේ බිරිඳ/සැමියා සහ කුඩා දරුවන් වැනි සීමිත පිරිසක් පමණයි.

විශේෂයෙන්ම විදේශයන්හි සිටින නෑදෑයින්ට හෝ වෙනත් පවුලේ සාමාජිකයින්ට මුදල් යැවීමට බලාපොරොත්තු වන පිරිස්වලට මෙන්ම, සාම්ප්‍රදායික නොවන පවුල් පසුබිම් සහිත අයට පවතින පැරණි නීති නිසා දැඩි අසාධාරණයන් සිදු වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම තහවුරු කළ නාමයෝජනාවක් සිදුකර තිබුණද, බොහෝ විට එය වසර 3 කින් අවලංගු වන බැවින් එය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වනවා.

මේ නිසා පවතින නීති රීති වර්තමාන ඕස්ට්‍රේලියානු පවුල්වල ස්වභාවයට ගැලපෙන පරිදි වෙනස් විය යුතු බවට සහ Superannuation ආයතන මගින් මෙම ක්‍රියාවලිය වඩාත් සරල කළ යුතු බවට බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.