ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් වල රැකියා ස්ථානයන්හි ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ඇති කිරීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී මට්ටමක පවතින බව නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලය මගින් සිදුකළ අලුත්ම ගෝලීය පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

ලොව කිසිදු රටක් මෙතෙක් පරිපූර්ණ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවයක් ලබාගෙන නොමැති අතර, කාන්තාවන් නිවසේදී සහ සමාජයේදී සිදුකරන වැටුප් නොලබන සේවය ආර්ථික සංවර්ධනය මැනීමේදී ගණන් නොගැනීම මෙයට ප්‍රධාන හේතුවක් ලෙසයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාව තුළ මෙලෙස අගය නොකෙරෙන කාන්තා ශ්‍රමය $688 billion පමණ වන අතර, එය රටේ සමස්ත GDP එකෙන් තුනෙන් පංගුවකට සමානයි. කාන්තාවන්ට අඩු වැටුප් සහිත රැකියාවල නිරත වීමට සිදුවීම නිසා, වයස 15ත් 67ත් අතර ඕස්ට්‍රේලියානු කාන්තාවකගේ ජීවිත කාලය තුළදී පුරුෂයෙකුට වඩා ලබන ආදායම $1.5 million කින් පමණ අඩු වන බව UNSW හි මහාචාර්ය Anne Junor ප්‍රකාශ කළා.

මෙම පරතරය නැති කිරීමට නම්, රැකියා පරිසරයේ සංස්කෘතිකමය වෙනසක් මෙන්ම රජයේ ප්‍රතිපත්තිමය වෙනස්කම්ද වහා සිදුවිය යුතු බවයි එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.