ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියානු රජය ණය රහිත රටක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 20 කට පසුව වාර්තා වූ විශේෂ සිදුවීමක්.

නව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමත් සමඟ මෙම ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, එය රටේ මුළු දේශීය නිෂ්පාදනයෙන් 34% ක් පමණ වෙනවා. මේ හේතුවෙන් වසරකට ගෙවීමට සිදුවන පොලී පිරිවැය පමණක් ඩොලර් බිලියන 30 කට ආසන්න වනු ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.

මෙම තත්ත්වයත් සමඟ එරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර උණුසුම් සංවාදයක් නිර්මාණය වී තිබෙනවා. විපක්ෂය පවසන්නේ රජයේ අධික වියදම් කිරීම් මීට හේතු වූ බවයි. කෙසේ වෙතත්, වත්මන් පාලක පාර්ශ්වය පෙන්වා දෙන්නේ පෙර පැවති රජයන්ට වඩා තමන් ණය පාලනය කරගෙන ඇති බවයි.