16 හැවිරිදි පාසල් දැරියක දූෂණය කිරීමේ චෝදනාවෙන්, පෙම්වතිය ඝාතනය කිරීමේ වරදට සිරදඬුවම් විඳින Lachlan Young නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
2024 පෙබරවාරි මාසයේ Ballarat හි Sebastopol ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකදී, Young මෙම 16 හැවිරිදි දැරිය අපයෝජනය කළ බවටයි චෝදනා එල්ල වී තිබුණේ. එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ දැරිය පොලිසියට ප්‍රකාශයක් ලබා දී දින තුනකට පසු, එනම් අප්‍රේල් 5 වනදා, Young විසින් සිය පෙම්වතිය වූ Hannah McGuire ඝාතනය කරනු ලැබුවා.
ඝාතන චෝදනාවට තමා වරදකරු බව පිළිගැනීම නිසා ඔහුට වසර 28ක සිරදඬුවමක් නියම වූ අතර, ලිංගික අතවර චෝදනාව සම්බන්ධයෙන් ඔහු දිගින් දිගටම කියා සිටියේ තමා නිවැරදිකරු බවයි. අදාළ දැරිය කැමැත්තෙන් තමා හමු වූ බවත්, ඇගේ වයස දැනගත් සැනින් තමා ඉවත් වූ බවත් ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
දින දෙකක සාක්ෂි විභාගයකින් පසු ජූරි සභාව තීරණය කළේ ලිංගික අතවර චෝදනාවෙන් Lachlan Young නිදොස් කොට නිදහස් කිරීමටයි.



