ඕස්ට්‍රේලියාවේ නිවාස මිල ගණන් පහත වැටෙමින් පැවතියද, පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ණය ගැනීමේ හැකියාව සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්තා වෙනවා.
Canstar ආයතනයේ දත්තවලට අනුව, RBA ආයතනය මගින් සිදුකළ පොලී අනුපාතික සංශෝධනත් සමඟ, 2026 වසර මුල සිට මේ දක්වා තනි පුද්ගලයෙකුට ලබාගත හැකි උපරිම ණය මුදල ඩොලර් 35,400 කින් සහ යුවළකට ලබාගත හැකි ණය මුදල ඩොලර් 70,700 කින් පමණ අඩුවී තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී නැවතත් පොලී අනුපාත ඉහළ ගියහොත් මෙම ණය ගැනීමේ හැකියාව තවත් දැඩි ලෙස පහත වැටෙනු ඇති.
Sydney, Melbourne, Brisbane, Perth සහ Adelaide ඇතුළු ප්‍රධාන නගර රැසකම නිවාස මිල ගණන් මේ වන විට පහත වැටෙමින් පවතින අතර, NAB බැංකුවේ නවතම වාර්තාවලට අනුව වසර අග වන විට සමස්ත නිවාස මිල ගණන් 5% කින් පමණ අඩුවීමට නියමිතයි. කෙසේ වෙතත්, නිවාස මිල අඩුවුවද ණය ගැනීමේ හැකියාව සීමාවීම නිසා නව නිවසක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින බොහෝ දෙනෙකුට එය තවදුරටත් මගහැරී යෑමේ අවදානමක් පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.



