ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක් විසින් කොටස් හිමියන් වෙත ඩොලර් බිලියන ගණනක ලාභාංශ ගෙවීම ආරම්භ කර තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම සමාගම වන BHP, සිය කොටස් හිමියන් වෙත ඩොලර් බිලියන 5 ක් බෙදාහැර ඇති අතර Telstra සමාගම ද ඩොලර් බිලියන 1.2 ක ලාභාංශ ගෙවා තිබෙනවා.
මේ අතර, ලබන ඔක්තෝබර් 1 වනදා සිට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් සඳහා අය කෙරෙන අමතර ගාස්තු තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වෙළඳසැල්වල ප්‍රදර්ශනය කර ඇති මිල ගණන් යටතේම භාණ්ඩ හා සේවා ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනු ඇති. මෙම වෙනස්කම් හමුවේ ඇතැම් කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර PayID සහ බැංකු තැන්පතු වැනි අඩු පිරිවැය සහිත ගෙවීම් ක්‍රම වෙත යොමු වීමේ ප්‍රවණතාවක් පවතින බවයි Finder ආයතනය පවසන්නේ.
තවද, ඕස්ට්‍රේලියාවේ රැකියා විරහිතභාවය 4.6% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණ ද, පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ ඕස්ට්‍රේලියානු සංචිත බැංකුව විසින් පොලී අනුපාත නැවත ඉහළ නැංවීමට ඉඩ ඇති බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා. මැද පෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ආහාර මිල ගණන් ඉහළ යාම ඊට ප්‍රධාන හේතු ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.



