පතල් කර්මාන්තයේ දැවැන්තයෙකු වන BHP සමාගම සහ එහි වෘත්තීය සමිති අතර පවතින වැටුප් අර්බුදය හේතුවෙන් ඉදිරි සති අන්තයේ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සේවකයින් තීරණය කර තිබෙනවා. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් සමාගමට දිනකට ඇමෙරිකානු ඩොලර් මිලියන 120 ක පමණ පාඩුවක් සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.
Port Hedland හි පිහිටි ප්‍රධාන යකඩ යපස් අපනයන වරායේ සේවකයින් සහ පතල් කම්කරුවන් 150 කට ආසන්න සංඛ්‍යාවක් මෙසේ සේවයෙන් ඉවත් වීමට නියමිතයි. වසර හතකට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා, සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාගැනීමට මෙම පියවර ගත් බව AMWU හි බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත ලේකම් Steve McCartney සඳහන් කළා.
BHP සමාගම වසර 4 ක් පුරා 16% ක වැටුප් වැඩිවීමක් යෝජනා කර තිබුණද, සේවකයින්ගේ සැබෑ කැපවීමට සහ දරුණු සේවා කොන්දේසිවලට සරිලන සාධාරණ එකඟතාවකට පැමිණීමට සමාගම අකමැති බවයි වෘත්තීය සමිති චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, මෙම වර්ජනය නිසා අදාළ ගිවිසුම් ප්‍රමාද වීම හැර වෙනත් යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන බවත්, සාධාරණ විසඳුමකට පැමිණීමට තවදුරටත් සාකච්ඡා කිරීමට සූදානම් බවත් BHP සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා. මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඉදිරි අගෝස්තු 18 වනදා Fair Work Commission හමුවේ නැවත සාකච්ඡා කිරීමට නියමිතයි.



