South Australia හි කුරුළු උණ වසංගතය පැතිරී යාමත් සමඟ මුහුදු පක්ෂීන් විශාල සංඛ්‍යාවක් මියගොස් තවත් පක්ෂීන් රෝගී වී සිටියදී හමුවී තිබෙනවා. ඒ අතර මියගිය පක්ෂීන් 49 දෙනෙකු සහ රෝගී වූ පක්ෂීන් 35 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.
කුරුළු උණ වසංගතය උත්සන්න වෙමින් පවතින බවට බලධාරීන් අනතුරු අඟවන අතරතුර, South Australia වෙරළ තීරයෙන් මෙම පක්ෂීන් හමුවී තිබෙනවා. වනජීවී පක්ෂීන් අතර වෛරසය වේගයෙන් පැතිර යන බවට පශු වෛද්‍ය බලධාරීන් අනතුරු අඟවන අතර, මෙම තත්ත්වයත් සමඟ රට පුරා විශාල බියක් නිර්මාණය වී තිබෙනවා.
ආසාදිත පක්ෂීන් වෙරළ තීරයේදී එකිනෙකා සමඟ ගැවසීම නිසා මෙම වසංගතය වේගයෙන් පැතිර ගොස් ඇති බව South Australia හි ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනී Dr Skye Fruean ප්‍රකාශ කළා.
සෙනසුරාදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, අවාසනාවන්ත ලෙස මෙම තත්ත්වය ඉතා වේගයෙන් උත්සන්න වන බවයි.
බලධාරීන් තවමත් රසායනාගාර ප්‍රතිඵල ලැබෙන තෙක් බලා සිටින නමුත්, එම දූපතෙන් හමුවූ 'greater crested tern' වර්ගයේ පක්ෂීන් සංඛ්‍යාව දෙස බලන විට, එම ප්‍රතිඵලවලින්ද මෙම සැකය තහවුරු වනු ඇති බව Dr Skye Fruean වැඩිදුරටත් පැවසුවා.
වෛරසය පිළිබඳව අවධානයෙන් සිටීමට නිරීක්ෂණ කටයුතු අත්‍යවශ්‍ය වුවත්, වනජීවී පක්ෂීන් අතර වෛරසය පැතිරීම වැළැක්වීමට කළ හැකි දේ ඉතා සීමිත බවයි ඇය පෙන්වා දුන්නේ.
South Australia වෙතින් H5 කුරුළු උණ ආසාදිතයන් 39 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව Western Australia වෙතින් 10 දෙනෙකු, NSW වෙතින් දෙදෙනෙකු සහ Queensland හා Victoria යන ප්‍රාන්තවලින් එක් අයෙකු බැගින්, ඕස්ට්‍රේලියාව පුරා මේ වන විට තහවුරු වූ ආසාදිතයන් 53 දෙනෙකු වාර්තා වනවා.
Limestone Coast හි Robe ප්‍රදේශය අසලින් හමුවූ, කුරුළු උණ ආසාදනය වී ඇති බවට සැක කෙරෙන ඕස්ට්‍රේලියාවේ පළමු seagull පක්ෂියා පිළිබඳවද බලධාරීන් මේ වන විට විමර්ශන පවත්වනවා.
South Australia වලින් පිටත ප්‍රදේශවලින් ද මේ වන විට ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍ය Emily Bourke ප්‍රකාශ කළා.



