South Australia හි Bordertown ආසන්නයේ පිහිටි Lucy Dodd ගේ කළුකුම් ගොවිපළට මෙවර නත්තල් සමය ඉතා තීරණාත්මකයි. නත්තල් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් එළිමහනේ ඇතිකරන කළුකුම් කුරුල්ලන් 6,000 ක් පමණ සූදානම් කර තිබුණත්, මේ වන විට පැතිර යන H5N1 කුරුලු උණ වෛරසය නිසා සමස්ත කර්මාන්තයම දැඩි බියකින් පසුවනවා.

ඇන්ටාක්ටික් කලාපයේ සිට සංක්‍රමණය වන මුහුදු කුරුල්ලන් මගින් මෙම දරුණු වෛරසය ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට පැමිණ ඇති අතර, මේ වන විටත් fur seal සතුන්, හිවලුන් සහ ඩොල්ෆින් සතුන් අතරින්ද වෛරසය හමුවී තිබෙනවා. විශාල වශයෙන් මුහුදු ළිහිණියන් මියයන Port MacDonnell ප්‍රදේශයේ පක්ෂි නිරීක්ෂකයින් පවසන්නේ තත්ත්වය ඉතාමත් නරක අතට හැරෙමින් පවතින බවයි.

වනජීවී කුරුල්ලන්ගෙන් ගෘහාශ්‍රිත ගොවිපළ කුකුළන්ට වෛරසය බෝවීම වැළැක්වීම එළිමහන් ගොවිපළ හිමියන්ට විශාල අභියෝගයක්. එළිමහන් භූමියට සෘජුවම වන පක්ෂීන් පැමිණීමේ ඉඩකඩ වැඩි නිසා මෙම ගොවිපළවල් වඩාත් අවදානම් සහගත බවයි Lucy Dodd පවසන්නේ. Adelaide University හි වෛරස් විශේෂඥ Farhid Hemmatzadeh පෙන්වා දෙන්නේ ස්වාභාවික පරිසරයේ වෛරස සාන්ද්‍රණය වැඩි වන විට එය පාලනය කිරීම ඉතා අපහසු බවයි.

2024 වසරේදී H7 කුරුලු උණ වෛරසය නිසා සිය ගොවිපළේ කුරුල්ලන් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවූ Victorian බිත්තර නිෂ්පාදක Brad McAuliffe පවසන්නේ, ඉන්පසු ඩොලර් මිලියන 10 කට වැඩි පිරිවැයක් දරමින් සිය ජෛව ආරක්ෂණ ක්‍රමවේද සම්පූර්ණයෙන්ම යාවත්කාලීන කළ බවයි. Geelong හි නව සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීම, පාරජම්බුල කිරණ (UV light) මගින් බිත්තර විශෝධනය කිරීම සහ සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය 24 පැයක් නිරීක්ෂණය කිරීමට තාක්ෂණය යොදාගැනීම ඒ අතර වෙනවා.

කෙසේ වෙතත්, කුඩා පරිමාණ ගොවිපළ හිමියන්ට මෙවැනි අධික පිරිවැයක් දැරීමට නොහැකි වී තිබෙනවා. රජය විසින් කුකුළන් එළිමහනට නොයවා ගොඩනැගිලි තුළ සිරකර තැබීමට නිර්දේශ කළහොත්, බොහෝ එළිමහන් ගොවිපළ හිමියන්ට සතුන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් නොමැති වීමද ප්‍රධාන ගැටලුවක්. මීට අමතරව, නිදහසේ සිටීමට හුරු වූ සතුන් එකවර කොටු කිරීමෙන්  පැවැත්මට හානි සිදුවන බවයි Brad McAuliffe සඳහන් කරන්නේ.

අභියෝග රැසක් පැවතුණද, විදේශයන්හි මෙන්ම නව ක්‍රමවේදයන්ට හුරු වෙමින් මෙම වෛරසය හමුවේ එළිමහන් කුකුළු ගොවිපළ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ගොවිපළ හිමියන් විශ්වාසය පළ කරනවා.