ඕස්ට්‍රේලියාවේ බන්ධනාගාරගත ගැබිනි කාන්තාවන්ට දරු ප්‍රසූතියේදී මාංචු දැමීමේ පුවතක් වාර්තා වෙනවා.නීතියට අනුව මෙය අවසන් විකල්පය ලෙස පමණක් භාවිත කළ යුතු වුවත්, ඕස්ට්‍රේලියාව පුරා බහුලව සිදු වන බවයි වාර්තා වන්නේ. මීට එරෙහිව ඕස්ට්‍රේලියාවේ Victoria හි ස්වාධීන සෙනෙට් සභික Lidia Thorpe විසින් දරු ප්‍රසූතියේදී මාංචු දැමීම තහනම් කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කර තිබෙනවා.
දරු ප්‍රසූතියකදී කිසිවෙකුත් පලා යාමේ අවදානමක් නැති අතර, එය ඉතාමත් භයානක හා හිංසාකාරී ක්‍රියාවක් බවයි ඇය පෙන්වා දෙන්නේ. 2019 වසරේදී Victoria හි රෝහල් ඇඳකට මාංචු දමා දරුවෙකු ප්‍රසූත කළ Heather Calgaret නමැති කාන්තාවගේ සිදුවීම ද මෙහිදී අවධානයට ලක් වී තිබෙනවා. ප්‍රසූතියෙන් දින කිහිපයකට පසු ඇගේ දරුවා වෙන් කරනු ලැබූ අතර, පසුව ඇය බන්ධනාගාරයේදී මියගියා. දරුවා වෙන් කිරීම ඇගේ මරණයට ප්‍රධාන හේතුවක් වූ බවයි 2025 වසරේදී මරණ පරීක්ෂණයේදී හෙළි වුණේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් සම්මත කරගත් බැංකොක් නීති වලට අනුව ගැබිනි කාන්තාවන්ට හෝ දරු ප්‍රසූතියේදී මාංචු දැමීම සම්පූර්ණයෙන්ම තහනම්. එසේම Australian College of Midwives ඇතුළු සංවිධාන රැසක් පෙන්වා දෙන්නේ මෙය කාන්තාවන්ගේ සහ අලුත උපන් දරුවන්ගේ සෞඛ්‍යයට ඉතා අහිතකර, මානව හිමිකම් පවා උල්ලංඝනය වන ක්‍රියාවක් බවයි.
නව පනත සම්මත වුවහොත් පවතින ප්‍රාන්ත නීතිවල ඇති සුවිශේෂී ඉඩකඩයන් අවලංගු වී මෙම වධහිංසාව සම්පූර්ණයෙන්ම නතර වනු ඇතැයි බලධාරීන් බලාපොරොත්තු වෙනවා.



