ඕස්ට්‍රේලියාවේ Blue Mountains ප්‍රදේශයේ Valley Heights හිදී මවක විසින් සිය දරුවන් තිදෙනාට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරීමේ ඛේදනීය පුවතක් වාර්තා වෙනවා.

සිය බිරිඳ දරුවන් තිදෙනාද සමඟ විනෝද ගමනක් යන බව සිතා රැකියාවට ගිය Kenyan ජාතික පියාට, ඉරිදා පස්වරුවේ ලැබුණු දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබී ඇත්තේ සිය අවුරුදු පහක් වයසැති පිරිමි දරුවා මියගොස්, අනෙක් දරුවන් දෙදෙනා සහ බිරිඳ ජීවිතයත් අතර සටනක පසුවන බවයි.

42 හැවිරිදි මව විසින් වාහනය තුළ සිටි අවුරුදු පහ, තුන සහ එක යන වයස්වල පසුවන දරුවන්ට මෙලෙස පිහියෙන් ඇන, පසුව ඇය විසින්ම තුවාල සිදුකරගෙන ඇති බවට පොලීසිය සැකකරනවා. එම ස්ථානයෙන් ගමන් කළ පාපැදිකරුවෙකු සහ ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන්ට ප්‍රථමාධාර ලබාදෙමින් හදිසි ඇමතුම් අංශ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

තුවාල ලැබූ අවුරුදු 3 සහ 1 වයස්වල පසුවන කුඩා දරුවන් දෙදෙනා සහ මව මේ වන විට Westmead Hospital හි දැඩි සත්කාර ඒකකයේ පසුවන අතර, ඔවුන්ගේ තත්ත්වය තවදුරටත් බරපතල බව සඳහන්. මව සුවය ලැබූ පසු ඇයට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට පරීක්ෂණ පවත්වන නිලධාරීන් සූදානමින් පසුවෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් Sydney හි පිහිටි Kenyan තානාපති කාර්යාලය සහ මෙරට වෙසෙන Kenyan සමාජය අදාළ පියා වෙත අවශ්‍ය සහාය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. NSW පොලිසියෙහි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Peter McKenna මහතා ප්‍රකාශ කළේ, මෙය ඉතාමත් අමානුෂික සහ සංවේදී සිදුවීමක් බවයි.