2025 ෆෙඩරල් මැතිවරණය ඉලක්ක කරගනිමින් ඕස්ට්‍රේලියාවේ Labor පක්ෂය විසින් ක්‍රියාත්මක කළ ඩොලර් මිලියන 560 ක විශේෂ ප්‍රතිපාදන ව්‍යාපෘතියක් හරහා දේශපාලන අරමුණු වෙනුවෙන් අරමුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
Centre for Public Integrity ආයතනය කළ විමර්ශනයකට අනුව අනාවරණය වී ඇත්තේ, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය හිමිවන මෙම "ආරාධිතයින්ට පමණක් සීමා වූ" ව්‍යාපෘතියේ අරමුදල්වලින් ඩොලර් මිලියන 493 ක්ම Labor පක්ෂයේ ජයග්‍රහණය ස්ථිර හෝ තරගකාරී ඡන්ද කොට්ඨාස සඳහා වෙන් කර ඇති බවයි. වෙනත් පක්ෂ නියෝජනය කරන ඡන්ද කොට්ඨාස 45කට කිසිදු ආරාධනාවක් හෝ ප්‍රතිපාදනයක් ලැබී නැහැ.
විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය Anthony Albanese ගේ Grayndler ආසනයේ පිහිටි Marrickville Golf Club එක සඳහා ඩොලර් මිලියන 6 ක අරමුදල් වෙන්කර තිබීම දැඩි ආන්දෝලනයට ලක්ව තිබෙනවා. වසර 100 කට ආසන්න පැරණි Rutherglen Golf Club වැනි දැඩි යටිතල පහසුකම් අඩුපාඩු සහිත ක්‍රීඩා සමාජ ගණනාවක් තිබියදී, අග්‍රාමාත්‍යවරයාගේ සමීප සබඳතාවක් ඇති මෙම ස්ථානයට පමණක් අරමුදල් ලබාදීම අසාධාරණ බවයි ස්වාධීන මන්ත්‍රී Helen Haines සහ විපක්ෂ මන්ත්‍රී Bridget McKenzie චෝදනා කරන්නේ.
කෙසේ වෙතත්, යටිතල පහසුකම් අමාත්‍ය Catherine King ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය රජයේ නීති සහ මාර්ගෝපදේශවලට අනුකූලව විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කර ඇති අතර, මැතිවරණ පොරොන්දු ඉටුකිරීම මෙහි ප්‍රධාන අරමුණ වූ බවයි.



