2032 Brisbane Olympic සහ Paralympic තරගාවලියේ ඔරු පැදීමේ (rowing and canoe sprint) තරග සඳහා Rockhampton හි Fitzroy River තෝරා ගැනීමට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් මතුව ඇති විවේචන, Queensland අගමැති David Crisafulli විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Amsterdam හි පැවැත්වුණු World Rowing සමුළුවේදී New Zealand, Canada, Germany සහ UK යන රටවල නියෝජිතයින් පෙන්වා දී තිබුණේ, අදාළ ස්ථානයේ ඇති කිඹුලන්ගේ තර්ජනය, ගංවතුර අවදානම සහ පවතින දියවැල් හේතුවෙන් ක්‍රීඩකයින්ට ගැටලු මතු විය හැකි බවයි. එමෙන්ම Sydney 2000 ඔලිම්පික් ක්‍රීඩාංගණය වැනි දැනටමත් පවතින ස්ථානයක් භාවිත නොකරන්නේ මන්දැයි ද ඔවුන් ප්‍රශ්න කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති David Crisafulli සඳහන් කළේ, ප්‍රාදේශීය ප්‍රදේශයකට මෙම අවස්ථාව හිමිවීම වැළැක්වීමට විදේශීය සහ වෙනත් ප්‍රාන්තවල "ප්‍රභූ පිරිසක්" (elites) උත්සාහ කරන බවයි. එමෙන්ම Rockhampton මන්ත්‍රී Donna Kirkland ප්‍රකාශ කළේ, අදාළ තරග සියල්ලම ස්ථිරවම Fitzroy River හිදීම පවත්වන බවත්, ඉදිරියේදී පැවැත්වෙන පාසල් නෞකා තරගාවලියක් සඳහා ද මෙම ස්ථානය සූදානම් කර ඇති බවත්ය.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන ස්ථානය පිළිබඳව තාක්ෂණික ඇගයීමක් දැනට සිදුකෙරෙන අතර, ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ බලය World Rowing ආයතනය සතුව පවතිනවා.