Western Australia හි උතුරු ප්‍රදේශයේ පිහිටි Broome නගරය ඝන මීදුම් පටලයකින් වැසී ගොස් තිබෙනවා. මේ හේතුවෙන් 50mකට වඩා අඩු දුරක් පමණක් දැකගත හැකි මට්ටමට දෘශ්‍යතාව සීමා වී ඇති බවයි වාර්තා වන්නේ.

Bureau of Meteorology (BOM) ආයතනය සඳහන් කරන්නේ, මෙය නිවර්තන වියළි කාලගුණය අවසන් වී Broome ප්‍රදේශයට වැසි සහිත කාලගුණික තත්ත්වය උදාවීමේ සලකුණක් බවයි.

පසුගිය බදාදා උදෑසන කාලයේදී Broome ගුවන්තොටුපොළ ආශ්‍රිතව පැය 9ක පමණ කාලයක් මෙම මීදුම් තත්ත්වය පැවැති අතර, Dampier Peninsula දක්වා ප්‍රදේශයටම මෙයින් බලපෑම් එල්ල වුණා. මීදුම පවතින අවස්ථාවලදී රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යාඥ Jonathan How රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර, Broome ප්‍රදේශයේ පාරම්පරික Yawuru ජනතාවගේ ඍතු 6 බෙදීමට අනුව මෙය 'Wirlburu' නම් කෙටි සංක්‍රාන්ති සමය ලෙස හැඳින්වෙනවා. උදෑසන මීදුම සහිත මෙම කාලසීමාව, ඉදිරියේදී පැමිණෙන අධික රශ්මිය සහිත වැසි සමයට පෙර ප්‍රදේශවාසීන්ට සැනසිලිදායක කාලගුණයක් ගෙනදෙන බවයි Yawuru Language Centre හි Coco Yu සඳහන් කළේ.