Melbourne හි Bundoora ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් සිය පුත්‍රයා ද සමඟින් දිවි බේරාගත් Laura Gulbin නමැති තරුණ මව, ජනතාවට වැදගත් උපදෙසක් ලබා දී තිබෙනවා.

Power bank එකක් ගිනිගැනීමෙන් මෙම ගින්න ආරම්භ වී තිබෙනවා. මෙම අත්දැකීම ඇසුරින් ඇය පවසන්නේ, ගින්නක් කොතරම් ඉක්මනින් පැතිර යන්නේද යන්න පිළිබඳව ජනතාව අවධානය යොමු කළ යුතු බවයි. ගින්න හටගත් සැනින් එය නිවා දැමීමට හෝ දේපළ බේරා ගැනීමට උත්සාහ නොකර වහාම නිවසින් ඉවත් විය යුතු බව ඇය පවසනවා

යතුරු ගැනීමට යාමේදී දුම සහ Carbon monoxide වායුව ආග්‍රහණය වීමෙන් තමා සිහිසුන් වීමට ආසන්න වූ බවත්, පසුව ඇය non-verbal autism තත්ත්වයේ පසුවන සිය පුතු Clancy සමඟ ජනේලයේ වීදුරු බිඳ දමා එළියට පැන දිවි බේරාගත් බවත් ඇය ප්‍රකාශ කළා.

අසල්වැසියෙකුගේද සහාය ඇතිව මොවුන් දෙදෙනා බේරාගෙන ඇති අතර, ගින්නෙන් තුවාල ලැබූ Laura රෝහල්ගත කිරීමෙන් පසු මේ වන විට සුවය ලබමින් පසුවනවා.

නිවස රක්ෂණය කර තිබුණද ඇතුළත බඩු භාණ්ඩ සඳහා රක්ෂණ ආවරණයක් නොතිබූ බැවින් ඇයට විශාල පාඩුවක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත්, දේපළවලට වඩා තමන්ගේ සහ ආදරණීයයන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම ප්‍රමුඛ වන බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.