Canberra හි මත්ද්‍රව්‍ය ශරීරගත වූ පුද්ගලයෙකුට ගිලන්රථ ප්‍රමාදයෙන් ජීවිතය අහිමි වෙයි.Canberra හි පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන Australian Capital Territory හි ප්‍රධාන මරණ පරීක්ෂකවරයා පවසන්නේ, අදාළ පුද්ගලයා අධික ලෙස ඖෂධ හෝ මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් පසුව රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බවයි.

2021 වසරේ මාර්තු මාසයේදී Felipe Esteban Alvarez නමැති 48 හැවිරිදි පුද්ගලයා Taylor හි පිහිටි සිය නිවසේදී අධික ලෙස මත්ද්‍රව්‍ය ශරීරගත වීමෙන් මියගොස් තිබුණි. ඒ අවස්ථාවේ CAHMA ආයතනයේ පුහුණුව ලත් සේවකයින් දෙදෙනෙකුද එම ස්ථානයේ සිට ඇති අතර, ඔහු සිහිසුන්ව සිටියදී පවා Triple Zero අංකයට ඇමතුමක් ලබාදීමට ඔවුන් කටයුතු කර නැත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු දක්වන Coroner Ken Archer සඳහන් කළේ, අදාළ ආයතනයේ පාලන පද්ධතියේ සහ සේවකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ පවතින දුර්වලතා මෙයින් පෙන්නුම් කරන බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වන හානි අවම කිරීමේ පුහුණු වැඩසටහන් යාවත්කාලීන කරන ලෙසත්, සෞඛ්‍ය සහ හදිසි අංශ සමඟ සම්බන්ධතාව වැඩිදියුණු කරන ලෙසත් මරණ පරීක්ෂකවරයා නිර්දේශ කර සිටී.