Canberra හි Dunlop ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගිනිගැනීමකින්, එහි නිද්‍රාවේ පසුවූ පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට අසල්වැසි තරුණයෙකු සමත්ව තිබෙනවා.

Tom Freeman නමැති මෙම පුද්ගලයා අලුයම් කාලයේ සේවයට වාර්තා කිරීමට සූදානම් වන අවස්ථාවේදී, අවටින් නැගුණු සැකකටයුතු දුමාරයක් සහ දුගඳක් හේතුවෙන් සිදුකළ පරික්ෂා කිරීමකදී අසල්වැසි නිවසේ ගරාජය ගිනිගනිමින් පවතින අයුරු දැක තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ Freeman, තදින් වසා තිබූ එම නිවසේ දොරට තට්ටු කරමින් නිදා සිටි පිරිස අවදි කර ගැනීමට සමත්ව ඇති අතර, එම අවස්ථාව වන විටත් නිවසේ ප්‍රධාන දොර රත්වී පැවති බවයි ඔහු සඳහන් කරන්නේ.

වහාම ක්‍රියාත්මක වී නිවසේ සිටි කුඩා දැරියක ඇතුළු පවුලේ පිරිස සහ අනෙකුත් අසල්වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමටත්, හදිසි ඇමතුම් අංශ දැනුවත් කිරීමටත් ඔහු කටයුතු කළා. Freeman දැක්වූ මෙම ක්ෂණික සහ නිර්භීත ක්‍රියාකලාපය හේතුවෙන් ජීවිත හානි රැසක් වැළකී ගිය අතර, බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට සිය ප්‍රශංසාව පළකර සිටිනවා.