ගෙවීම් කාඩ්පත් භාවිත කරන ඕස්ට්‍රේලියාවේ පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට බලපාන ප්‍රධාන නීතිමය වෙනසක් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වනවා.

ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් ගන්නා ලද තීරණයකට අනුව, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් මුදල් ගෙවීමේදී මෙතෙක් අය කළ අමතර ගාස්තු සම්පූර්ණයෙන්ම තහනම් කෙරෙනවා. මෙමගින් පාරිභෝගිකයින්ට වසරකට ඩොලර් බිලියන 1.6 ක පමණ මුදලක් ඉතිරි වන නමුත්, Finder ආයතනය කළ සමීක්ෂණයකට අනුව ඕස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 43% ක් තවමත් මේ පිළිබඳව දැනුවත් නැහැ.

කෙසේ වෙතත්, මෙම තහනම නිසා බැංකුවලට සිදුවන ඩොලර් මිලියන 600 ක පාඩුව පියවා ගැනීම සඳහා Westpac, NAB, St George සහ Commonwealth Bank වැනි ප්‍රධාන බැංකු විසින් කාඩ්පත්වල වාර්ෂික ගාස්තු, පොලී අනුපාත ඉහළ නැංවීමට මෙන්ම Rewards සහ Points ලබාදීමේ පහසුකම් කපා හැරීමට කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම ACCC ආයතනය පෙන්වා දෙන්නේ, ව්‍යාපාරිකයින් මෙම අමතර ගාස්තු අය කිරීම නැවැත්වුවද, එම පිරිවැය භාණ්ඩ හා සේවාවල අවසාන මිලට එකතු කිරීමට ඉඩ ඇති බවයි.