ඕස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ නායිකා Pauline Hanson පවසන්නේ, සිගරට් පැකට්ටුවකින් අයකරන බද්ද ඩොලර් 30කින් පමණ අඩුකිරීම මගින් මෙරට සීඝ්රයෙන් වර්ධනය වන නීතිවිරෝධී දුම්කොළ කළු කඩය මුළුමනින්ම තුරන් කිරීමට තම පක්ෂය යෝජනා කරන බවයි. සිගරට් මිල අධික වීම නිසා ජනතාව අඩු මිලට නීතිවිරෝධී ලෙස සිගරට් සෙවීම හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර ගැටුම් සහ ගිනි තැබීම් වැනි අපරාධ රැල්ලක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler ද පිළිගෙන තිබෙනවා. කෙසේ වෙතත්, පසුගිය වසර 15 පුරා අඛණ්ඩව ඉහළ දමා ඇති මෙම දුම්කොළ බද්ද අඩු කිරීමට ආණ්ඩුව මෙතෙක් එකඟ වී නැහැ. One Nation හී පාර්ලිමේන්තු මන්ත්‍රී Barnaby Joyce ප්‍රකාශ කළේ, අධික බදු අය කිරීම නිසා මෙම කළු කඩය නිර්මාණය වූ බවත්, නීතිවිරෝධී සිගරට් ඇති මට්ටමටම නීත්‍යානුකූල සිගරට් මිල ද පහත හෙලීමෙන් පමණක් මෙම අපරාධ රැල්ල පාලනය කළ හැකි බවත්ය.
මෙම 75%ක බදු කප්පාදුව හරහා සංවිධානාත්මක අපරාධකරුවන්ට ලැබෙන බිලියන ගණනක ආදායම නැවැත්විය හැකි බව Pauline Hanson වැඩිදුරටත් පවසා සිටියා. මේ අතර, ඉහළ යන නීතිවිරෝධී වෙළඳාම නිසා රජයට ලැබිය යුතු ඩොලර් බිලියන 7.7 සිට 11.8 දක්වා වූ විශාල බදු ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත්, මෙම බදු කප්පාදු යෝජනාව පිළිබඳව විපක්ෂයේ Matt Canavan ප්‍රශ්න කර සිටියේ, මෙයින් වන මූල්‍ය පාඩුව පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව One Nation පක්ෂය පැහැදිලි කළ යුතු බවයි. එමෙන්ම, බදු අඩු කිරීම මගින් ජාවාරම් නැවැත්විය හැකි බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, එය ඉතා හානිකර ප්‍රවේශයක් බවත් Australian Medical Association (AMA) අනතුරු අඟවනවා. ඒ සම්බන්ධයෙන් Jim Chalmers පැහැදිලි කළේ, බදු අඩු කිරීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නොමැති බවත්, ඒ වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීම සහ වැටලීම් දැඩි කිරීම සඳහා ඩොලර් මිලියන 350කට වැඩි අතිරේක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්ය. 2010 සිට ක්‍රියාත්මක වන මෙම බදු ප්‍රතිපත්තිය හරහා ජනතාව දුම්පානයෙන් මුදා ගැනීමට ඕස්ට්‍රේලියාව ලොවටම ආදර්ශයක් වී ඇති බවද රජය අවධාරණය කරනවා.



